නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං -පිය වග්ග, ධ.ප. සැදැහැවත් පින්වත්නි, අද පොසොන් පොහෝ දවසයි. අපේ මේ දිවයිනට බුද්ධ ශාසනය ලැබුණු දවස හැටියට පොසොන් පොහොය දවස අපට වටිනා දවසක් වෙනවා. බුද්ධ ශාසනය කියල කියන්නේ බුදුපියාණන් වහන්සේගේ දහම් පිළිවෙත යි, නිවන් පිළිවෙත යි. මේ දහම් පිළිවෙත-නිවන් පිළිවෙත මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාව පව්වට වැඩම කරල, පිරිසකුත් සමඟ, දෙවානම්පියතිස්ස රජතුමාට ඒ දහම් පිළිවෙත දීමට ‘තිස්ස, තිස්ස’ යනුවෙන් ආමන්ත්‍රණය කළ බව සඳහන් වෙනවා. එහෙම ඒ මුව දඬයමේ යෙදී සිටි-අධර්ම වැඩක යෙදී සිටි-රජතුමාගේ අවධානය ඒ විදියට ධර්මයට යොමු කරල මිහිඳු මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම පිළිවෙත-නිවන් පිළිවෙත-ක්‍රමානුකූලව මේ දිවයිනට ලබාදුන්නා. බුදු රජාණන් වහන්සේ කළෙත් මෙන්න මේ විදියට ධර්ම පිළිවෙත, ධර්මාවබෝධය කරන්න ශක්තිය තියෙන පුද්ගලයින් හොයාගෙන ගිහිල්ල, ඉතාමත්ම දුගී තත්වයේ සිටි කෙනෙකුන් පවා ධර්මදානය -ධර්මාවබෝධය-ලබාගැනීමට සමත් නම් එබඳු අය ළහට පවා වැඩමකරල. මේ බුද්ධ ශාසනය-ඒ කියන්නේ ධර්ම පිළිවෙත, නිවන් පිළිවෙත, ඒ අයට දී වදාළා. දැන් අපි මතක් කළ ගාථා ධර්මයට අදාළ නිදාන කථාවේ තියෙන්නෙත් බුදු පියාණන් වහන්සේ එක්තරා දුගී බ්‍රාහ්මණයෙක් ළහට බුද්ධ ශාසනය අරගෙන ගිය ආකාරයයි. බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවක එක්තරා මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයෙක් කෙතක් සකස් කරනවා. ඒ අවස්ථාවේ බුදුපියාණන් වහන්සේ එතනට වැඩම කළා. මේ බ්‍රාහ්මණයා මිථ්‍යාදෘෂ්ටික කෙනෙක් නිසා ඈතදීම බුදුපියාණන් වහන්සේ දැකලත් නොදැක්ක වගේ තමන්ගේ වැඩේ යෙදිල හිටිය. නමුත් බුදුපියාණන් වහන්සේ ළහටම වැඩම කරල ඇහුව, ‘බ්‍රාහ්මණය, මොකද මේ කරන්නේ?’ කියල. බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා, ‘භවත් ගෞතමය, මම කෙතක් සකස් කරනවා’ කියල. කථාව එච්චරයි. බුදුපියාණන් වහන්සේ ආපසු වැඩම කළා නැවත දවසක් මේ බ්‍රාහ්මණයා කෙතේ සී සානවා. එදත් බුදුපියාණන් වහන්සේ එතනට වැඩම කළා. වැඩම කරල ඇහුව, ‘බ්‍රාහ්මණය මොකද කරන්නේ’? කියල. ‘භවත් ගෞතමය, මම සී සානවා’. බුදුපියාණන් වහන්සේ ආපසු වැඩම කළා. ඒ මනුස්සයා තමන්ගේ වැඩේ යෙදුනා. ඊළහට බ්‍රාහ්මණයා නැවත දවසක වපුරනවා තමන්ගේ කුඹුරේ. එදත් බුදුපියාණන් වහන්සේ එතනට වැඩම කළා. ‘බ්‍රාහ්මණය, මොකක්ද කරන්නේ’? ‘භවත් ගෞතමය, මම වපුරනවා’. එතනිනුත් කථාව ඉවරයි. බුදුපියාණන් වහන්සේ ආපසු වැඩම කළා. දැන් කෙතේ අස්වැන්න හැදීගෙන එනවා. බ්‍රාහ්මණයා දවසක් කෙතේ වල් නෙලනවා. ඒ අවස්ථාවෙත් බුදුපියාණන් වහන්සේ එතනට වැඩම කරල අහනවා, ‘බ්‍රාහ්මණය මේ මොකද කරන්නේ’? කියල. ‘මම මේ වල් නෙලනවනේ, භවත් ගෞතමය’. ඊළහට කෙත රකින අවස්ථාවත් ආවා. දැන් ගොයම් පැහීගෙන එනවා. ඒ අවස්ථාවෙදිත් බුදුපියාණන් වහන්සේ වැඩම කළා. ‘මොකද බ්‍රාහ්මණය කරන්නේ’? ‘මම මේ කෙත රකිනවා’. ‘ඒක නොවෙයි, මේ භවත් ගෞතමය, ඔබ මා ළහට තිතර තිතර එනවා. ඔබ මගේ මිත්‍රයෙක් වෙන්ට ඕන. අද ඉඳල මගේ මිත්‍රයෙක් හැටියට මම පිළිගන්නවා. මේ කුඹුරේ අස්වැන්න පැහුනාම කොටසක් භවත් ගෞතමයන්ට නොදී මම අනුභව කරන්නේ නෑ’, කියල ප්‍රතිඥාවකුත් දුන්නා. බුදුපියාණන් වහන්සේත් ආපසු වැඩම කළා. දැන් ගොයම පැහුනා. හෙට වෙනි දවසේ අස්වැන්න කපාගන්න ලොකු බලාපොරොත්තුවකින් යුක්තව බ්‍රාහ්මණයා ගෙදර ගියා. එදා රෑ මහා මේඝ ගර්ජනා සහිත මහා ධාරානිපාත වර්ෂාවක් වැහැල අර මුළු ගොයමම එහෙමම ගසාගෙන ගිහිල්ල ගඟේ. උදෑසන බ්‍රාහ්මණයා කෙතට ඇවිල්ල බලන කොට මුළු කෙතම පාළුයි. දරාගන්න බැරි ශෝකයක් ඇති උනා. වැඩියෙන්ම ශෝක උනේ අර තමන්ගේ මිත්‍ර භවත් ගෞතමයන්ට අස්වැන්නෙන් කොටසක් දීගන්ට බැරීම නිසයි. කොහොම නමුත් මේ බ්‍රාහ්මණයා ආපසු ගෙදර ඇවිල්ල ඒ ශෝකය නිසා ආහාර වර්ජනය කරල-උපවාස කරල-කාමරේකට වෙලා බුදිය ගත්තා. එදත් බුදුපියාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයාගේ නිවසට වැඩම කළා, වැඩම කරල ඇහුව. ‘කෝ මේ බ්‍රාහ්මණ උපාසක උන්නාන්සේ?’ කියල. ගෙදර අය කිව්වා, ‘අන්න බුදිය ගන්නවා මෙහෙම අලාභයක් වුනා කියල ඒක දරාගන්න බැරුව ශෝකයෙන්’, බුදු පියාණන් වහන්සේ එතනට වැඩම කළා.’මොකද බ්‍රාහ්මණය, මේ?’ කියල ඇහුව. බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා, ‘භවත් ගෞතමය, මම මෙන්න මෙහෙම ලොකු බලාපොරොත්තු ඇතිකරගෙන හිටිය, අස්වැන්න පැහුනාට පස්සේ මෙයින් කොටසක් දීල මිසක් අනුභව කරන්නේ නෑ’ කියල. මට මෙන්න මේ තරම් විනාශයක් සිද්ධවුනා. ඒකේ ශෝකය නිසා මම මෙන්න මෙහෙම ආහාර වර්ජනය කරල, ජීවිත අපේක්ෂාව අත හැරල,බුදියගන්නව’ කියල. බුදු පියාණන්වහන්සේ විමසනවා, ‘ඔබ දන්නවද මේ ශෝකයට හේතුව?’ කියල. බ්‍රාහ්මණයා කියනවා: ‘මම නම් දන්නෙ නෑ, ඔබ දන්නවද?’ කියල. ‘ඔව්, බ්‍රාහ්මණය. මම දන්නවා’. අන්න ඒ අවස්ථාවේ තමයි අපි අර මතක් කළ ගාථා ධර්මය දේශනා කළේ. තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං ‘තණ්හාවෙන් ශෝකය හට ගන්නවා, ශෝකය උපදිනවා. තණ්හාවෙන් භය හට ගන්නවා. තණ්හාවෙන් මිදුන තැනැත්තාට ශෝකයක් නැත. භයක් කොයින්ද?’ ඔව්වරයි බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාළේ. නමුත් මේ ධර්මය අහල අර බ්‍රාහ්මණයාගේ සිත ඇතුලේ ලොකු චිත්ත විප්ලවයක් ඇතිවෙලා විදර්ශනා ඤාණ පිළිවෙළින් උතුම් සෝවාන් මාර්ගඵලය ප්‍රත්‍යක්ෂ කළ බව ධර්මයෙහි සඳහන් වෙනවා. එතකොට, මේ තරම් මේ චිත්ත විප්ලවයක් ඇති උනේ කොහොමද කියල අපි ටිකක් හිතල බලන්න ඕන. මේ විදර්ශනා ඤාණ කියන ඒව ඇතිවුනේ කොහොමද? විදර්ශනාව කියල කියන්නේ විශේෂ දැකීමක්. අර බ්‍රාහ්මණයා තමන්ගේ කෙතේ දර්ශනය සිතෙන් අරගෙන ගිහිල්ල ගෙදර බුදිය ගත්තේ. නිතරම සිතට එන්නේ අර පාළුවෙච්ච කෙතයි. ඒ කෙත දිහා බලාගෙන ඉන්න බ්‍රාහ්මණයාට හිත දිහා බලන්නට අවස්ථාව සැලසීම වශයෙනුයි බුදුපියාණන් වහන්සේ අර ගාථාව වදාළේ. බ්‍රාහ්මණයා හිතුව කෙත පාළුවෙච්ච නිසයි ශෝකය ඇති උනේ කියල. නමුත් බුදු පියාණන් වහන්සේ අර ගාථාව ප්‍රකාශ කළාට පස්සේ තේරෙන්න ඇති, කෙත පාළුවීම නිසා නොවෙයි හිත පාළුවීම නිසයි මේ ශෝකය ඇති උනේ කියල. අර කෙතේ අස්වැන්න වැඩෙනවාත් එක්කම තවත් දෙයක් වැඩුනා. හිතේ ආශාවත් ලියලා වැඩුනා. මේ අස්වැන්නවලින් කරන දේවල්, තව කොතෙකුත් දේ. මේ පින්වතුන් දන්නවනේ, ගොයිතැන් බත් කරන අය. කොයිතරම් ලොකු බලාපොරොත්තු සමූහයක් එක්කද මේ ගොයම වැඩෙන්නෙ කියල. අන්න ඒ විදියට මේ බ්‍රාහ්මණයාගේ හිත තුළ නොයෙකුත් ආසාවන්, බලාපොරොත්තු, කියන ජාතිය වැඩුනා. අර ධාරානිපාත වර්ෂාවෙන් ගොයම විනාශවෙලා ගඟේ ගසාගෙන යනකොට ඒ ඔක්කොම ආශාවන්, බලාපොරොත්තු ගසාගෙන ගියා. මේ බ්‍රාහ්මණයා එතකොට නිතර නිතර හිතට මතුකර ගත්තේ අර පාළුකෙතේ දර්ශනයයි. ඒක නිසා ඉතින් වැළපෙනවා, දුක්වෙනවා, ශෝකවෙනවා. බුදුපියාණන් වහන්සේගේ ගාථාවෙන් ඇතිඋන විප්ලවය කොයිතරම්ද කියතොත් බ්‍රාහ්මණයා කෙත දිහා බලනවා වෙනුවට ඇතුළත බැලුවා, හිත දිහා බැලුවා. මෙන්න මේ ඇතුළත බැලීම කියන එකට ධර්මයෙහි යෙදෙන වචනය තමයි, පින්වතුනි, ‘යෝනිසෝ මනසිකාරය’. නුවණින් මෙනෙහි කිරීම, කුසල් හෝ අකුසල් හෝ ඇතිවෙන්නේ සිතෙන්. හැම දේකටම මූලික වෙන්නේ සිතයි. ‘මනෝ පුබ්බඞ්ගමා ධම්මා-මනොසෙට්ඨා මනෝමයා’ ආදී වශයෙන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශකරල තියෙනවා. ‘සිත පෙරටුවෙනවා, සිතම ශ්‍රේෂ්ඨයි, මේ හැම දෙයක්ම සිතෙන්ම හටගන්න දේවල්’ කියල. ඒ විදියට ප්‍රකාශ කරල තියෙනවා. අන්න ඒ වගේ මෙතනත් මේ ශෝකය ඇතිවීමට මූලික උනේ තමාගේ සිත බව-සිත තුළින්ම පැන නැඟුනු දෙයක් බව මේ බ්‍රාහ්මණයාට වැටහුනා. එතකොට බුදුපියාණන් වහන්සේ ‘තණ්හාය විප්පමුත්තස්ස නත්ථි සෝකෝ කුතෝ භයං’ කියල ප්‍රකාශ කළහම මේ තණ්හාව එතනම නැතිකර ගැනීම තමන්ට අයිති දෙයක් බව බ්‍රාහ්මණයා තේරුම් ගත්තා. අර ගසාගෙන ගිය ගොයම ආයිත් සොයා ගන්න බෑ. ඒකට ආයි ප්‍රතිකර්මයක් නෑ. ඒ වෙනුවට ආහාර වර්ජනය කරල නිදාගැනීමවත්, උපවාසයෙන් මරණය කරා යෑමවත්, ප්‍රතිකර්මය නොවෙයි. එතකොට ඒ තත්ත්වය තේරුම්ගත් බ්‍රාහ්මණයාගේ සිත තුළ ඇතිවුන විප්ලවයේ අවසාන ප්‍රතිඵලය තමයි අර චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම්වූ සෝවාන් මාර්ගඵලය ලබා ගැනීම. ඒ බ්‍රාහ්මණයා මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයෙක් හැටියටයි මේ කථාව ආරම්භ උනේ. දැන් මේ සෝවාන් ඵලය ලැබෙනවාත් එක්කම පින්වතුනි, කෙනෙක් හඳුන්වන්නේ ආර්ය පුද්ගලයෙක් හැටියට. ආර්ය තත්ත්වයක් ලබාගත්තා. උතුම් තත්ත්වයක් ලබාගත්තා. සම්‍යක් දෘෂ්ටිය ඇතිවුනා. මේ තරම් විශාල චිත්තවිප්ලවයක් ඇතිවුනා. මේ බ්‍රාහ්මණයා උගතෙක් නොවෙන්න පුළුවනි. ඒ වගේම දුප්පත් මනුස්සයෙක්. නමුත් මේ තරම් විශාල දෙයක් සිද්ධවුනේ මෙතන තියෙනවා මහ ගැඹුරු ධර්මයත්. අපි කාටත් හිත යොදවන්න වටින දෙයක්. දැන් මේ කාලේ නිතර අහන්ට ලැබෙන දෙයක් තමයි: ‘ධර්මයෙහි ගැඹුරු කොටස් ගැන හිත යොදවන්න කාලේ නොවෙයි මේ. බොහොම දුක් ගැහැට ආපදා විපත්ති ඇති කාලයක්. මේ රට කිරෙන් පැණියෙන් ඉතිරුනාට පස්සේ තමයි ඒ නිවන ගැන, ඒ ගැඹුරු දේවල් ගැන, හිතන්න ඕන’. එහෙමත් සමහර කෙනෙක් කල්පනා කරනවා. නමුත් පින්වතුනි, ලෝකයේ තියෙනවා ‘වෙස්වළාගත්ත ආශීර්වාද’ කියල ජාතියක්. සමහර ආපදා විපත් කියන ඒව එන්නේ හරියට ආශීර්වාද හැටියට. දැන් මේ බ්‍රාහ්මණයාට මේ කෙත පාළුවීම ලොකු ආශීර්වාදයක් උනා. ඒක තුළින් ඇතිවුනු ඒ චිත්ත විප්ලවය නිසා අර තරම් - චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා උතුම්වූ. බුදුපියාණන් වහන්සේ පුදුම විදියට ප්‍රශංසා කළ-උසස් ආර්ය තත්ත්වයක් මේ බ්‍රාහ්මණයාට ලබාගන්න පුළුවන් උනා. එතකොට මේ ආපදා, විපත්ති, කම්පන ආදිය තුළින් අපට මේ වතුරාය සත්‍යය මතුකරගන්න පුළුවන්. දුක, දුකට හේතුව, දුක නැතිකිරීමෙන් ලබන නිවීම-නිවන-ඊට මාර්ගය වන, ප්‍රතිපත්තිය වන-ආර්ය අෂ්ටාංශික මාර්ගය. මෙන්න මේ විදියට මේ විපත්ති තුළින් විදර්ශනාඤාණ මතුකරගැනීම ගැන කල්පනා කරල බලනකොට, දැන් ඔය ඥානය-දැනුම ගැන හිතන කොට බොහෝවිට හිත දුවන්නේ-මේ කාලේ කොතෙකුත් තියෙනව විශ්ව විද්‍යාල කියල ජාතියක්-අන්න ඒවට. ඒවට කලාත්මක නමක් තියෙනවා ‘සරසවි’ කියල. ඒය සරසවිවලට යන්න බොහොම අය උත්සාහ කරනවා. ඒවට ගිහිච්ච අය ඒවායින් පිටවෙන්න-පාස්වෙන්න-බොහොම උත්සාහ දරනවා. නමුත් පින්වතුනි. බොහෝ දෙනෙක් දන්නෙ නෑ අපි මේ කවුරුත් ඉන්නේ එක්තරා සරසවියක බව. ඒක හඳුන්වන්නේ ‘ජීවිත සරසවිය’ කියල. මෙය අනිත් සරසවිවල නොයෙකුත් විදියේ විද්‍යා, දාන, තාක්ෂණ තියෙනවා. ඉගෙන ගන්න. මේ ජීවිත සරසවියේ විෂයයන් තුනයි තියෙන්නෙ සමත් වෙන්න, පාස් කරන්න. මොනවාද ඒ? බුදු පියාණන් වහන්සේ ඒව දක්වල තියෙනවා-අස්සාද, ආදීනව, නිස්සරණ කියල. ‘අස්සාද’ කියල කියන්නේ ආස්වාද පක්ෂය-රසවිඳීම-පංචකාම සම්පත්තිය, ආස්වාදය. මේක තමයි පළමුවෙනි පාඩම. මා හිතන්නේ මෙතන ඉන්න කවුරුත් මේ පාඩමෙන් නම් හොඳටම සමත්. මේ පංචකාම සම්පත්තිය කියන එක සංසාර සත්ත්වයින් කවුරුත් පාස්කරල තියෙනවා. ඊළහට පාඩම තමයි ‘ආදීනව’. ඒ පංචකාම සම්පත්තිය සොයන්නාට යෑම නිසා-ඒවා වෙනුවෙන්-විදින්නට වෙන දුක්ගැහැට, ජීවතයේ අනිෂ්ට විපාක ආදිය. දුක් කම්කටොලු, ආපදා, විපත්ති-ඒ හැම එකක්ම ආදීනව පක්ෂයට ගැණෙනවා. ආස්වාද පක්ෂය ටිකයි, ආදීනව පක්ෂය වැඩියි, නමුත් වැඩිදෙනෙක් ආස්වාද පන්තියේ තමයි ඉන්නේ. ආදීනව ගැන හිතන්නවත් පෙළඹෙන්නේ නෑ. ඒවා දිහා බලන්නවත් හිත යොමුකරන්නේ නෑ. නමුත් පින්වත්නි, මේ ආදීනව තුළින් තමයි ඊළහ පන්තියට යන්න පුළුවන් වෙන්නේ. ‘නිස්සරණ’ කියල කියන්නේ සසරින් නික්මීම. සංසරණය කියල කියන්නේ එකතැන කරකෑවීම වගේ මේ සංසාරයේ ගමන් කිරීම. දැන් මේ පින්වතුන් දන්නවා ඔය වාහනයක් එහෙම හුඟාක් දුරගියා කියල ඒ දුර ප්‍රමාණය සටහන් වෙනවා. නමුත් කොයිතරම් දුර ගියත් මොකක්ද වෙන්නේ? අර රෝදය එකතැනම කරකැවෙනවා. අන්න ඒ වගේ, එක අතකින් බලනකොට අනන්ත කාලයක් අපි මේ සංසාරයේ ගමන් කරල තියෙනවා. මහා දීර්ඝ සංසාරයක් කියල අපි පාවිච්චි කරනවා. වචන යොදනවා. නමුත් මේ තරම් දුර ගියාට මොකද. එක තැනමයි කරකැවිල කියන්නේ. ජාති-ජරා-ව්‍යාධි-මරණ කියන ඒ විදියට රෝදය කරකැවුනා කියල ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ තමන් බලාපොරොත්තු වෙන ඒ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න යොදන ප්‍රයත්නය විතරයි. ඒකෙත් කෙළවරක් නෑ. අර රෝදය එකතැනම කරකැවෙන්නා වගේ. ඉතින් මෙන්න මේ විදියට සංසරණය කියන්නේ එකම තැන කරකැවිල්ලක්, එහෙම නැත්නම් සැරිසැරිල්ලක්. ඒ වගේම ‘නිස්සරණ’ කියල කියන්නේ ඒ වටවල්ලෙන් පැනීම, නික්මීම, සසරින් මිදීම. මේ නිස්සරණ ශ්‍රේණිය-මේ නිස්සරණ විෂය-මේ නිස්සරණ පාඩම-තමයි සමත්වෙන්න තියෙන්නෙ. මේ ලෝකයේ මේ යුගයේ, පළමුවෙන්ම මේ ජීවිත සරසවියේ ඔය පාඩම් තුන පාස්කරල සමත්වුන උත්තමයා තමයි බුදුපියාණන් වහන්සේ. ඒ අනුව රහතන් වහන්සේලා. දැන් මේ බ්‍රාහ්මණයාත් ඒ සරසවියේ සෝවාන්ඵලය කියන පළමුවෙනි ආර්‍ය තත්ත්වය ලබාගත්තා. මෙන්න මේ ජීවිත සරසවියෙන් අවස්ථානුකූලව පාඩම් ඉගෙන ගත්තොත් ඒක තමයි ජීවිතයට ඉතුරුවෙන්නේ. ඒක තමයි කෙනෙකුගේ විමුක්තියට උපකාරී වෙන්නේ. මේ සෝවාන් ඵලයෙන් ලබන විමුක්තිය කොයිතරම් ශ්‍රේෂ්ඨ එකක්ද කියල බුදුපියාණන් වහන්සේ නොයෙකුත් උපමාවලින් දක්වල තියෙනවා. එක් අවස්ථාවක නියපිටට පස්ටිකක් අරගෙන බුදුපියාණන් වහන්සේ සංඝා වහන්සේලාගෙන් විමසුවා ‘මේ පස්ටිකද වැඩි, මහපොළොවේ පස්ද වැඩි’ කියල. සංඝයා වහන්සේලා පිළිතුරු දුන්නා: ‘භාග්‍යවතුන් වහන්ස, මේ නියපිට පස් බොහොම ටිකයි. මහ පොළොවේ පස් තමයි වැඩි’ කියල. අන්න ඒ උපමාව ආශ්‍රයෙන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. සෝවාන් තත්ත්වය ලැබූ කෙනා ඒ තමාගේ සංසාර දුක්ඛස්කන්ධයෙන් අත්මිදුනු, ඉවරකරගත්තු, දුක් ප්‍රමාණය වගේ තමයි අර මහ පොළොවේ පස්. නිය පිට තිබුනු පස් වගේ ඉතාම ටිකයි තව ඉතුරුවෙලා තියෙන්නෙ ඉවර කරගන්නට. ඒ මොකද? සෝවාන් පුද්ගලයා නැවත සංසාරයේ ඉපදෙන්නේ හත් සැරයක් පමණයි. ඒ වගේම, අපායට යන්නේ නෑ. ඒක විශාල-පුදුම විදියේ-සහනයක්. සෝවාන් නුවූ පුද්ගලයෙකුට අපාය තමන්ගේ ගෙදර වගේ. කොයි වෙලාවේ කොයි විදියේ පාපකර්මයක් නිසා අපායට යන්න වෙනවද කියල නෑ. සෝවාන් පුද්ගලයාගේ සිතේ ඇතිවුනු ඒ විප්ලවයේ පරිවර්තනය නිසා, ඒ ආර්ය තත්වය නිසා, විදර්ශනාඥානවලින් ඇති උනු ඒ දහම් ඇස පහළවීම නිසා, අර අපායගාමී අකුසල් කරන ශක්තිය නැති වුනා. අතීතයේ කරන ලද අකුසල් කිසිවක් නැවත අපායට යන්නේ නෑ. අන්න ඒ තරම් පුදුම විදියේ විමුක්තියක් ඒ සෝවාන් ඵලයෙන් පවා කෙනෙකුට ලැබෙනවා. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අර නියපිට පස්ටික වගේ තමයි සෝවාන් පුද්ගලයාට තව ගෙවන්න තියෙන සංසාර දුක. මිඳුනු සංසාර දුක මහ පොළොවේ ඉතිරි පස් වගේ තමයි කියා. තවත් උපමා දක්වල තියෙනවා, ඒ වගේම. මහා සමුද්‍රයෙන් නගා ගත්තු දියබිඳු දෙක තුනක් වගෙයි අර තව ගෙවන්න තියෙන දුක් ටික. ගෙවූ දුක් සමූහය-ඉතුරු කරගත්තු දුක් සමූහය වගේ තමයි මහා සමුද්‍රයේ ඉතිරිවූ ජලය. තවත් ඒ වගේ උපමාවක් දක්වල තියෙනවා. හිමාලය පර්වතය ක්‍රමක්‍රමයෙන් ගෙවිල ගිහිල්ල අබ ඇට 7ක් පමණවූ කුඩා ගල්කැට 7ක් විතරක් ඉතිරි වුනොත්. අන්න ඒ ගල්කැට 7 වගේ තමයි අර සෝවාන් පුද්ගලයාට තව ගෙවන්න ඉතුරුවෙල තියෙන දුක් ටික. මිඳුනු දුක් සමූහය තමයි අර හිමාලයේ ගෙවුනු පස් කොටස. අන්න ඒ වගේ නොයෙකුත් උපමා දක්වල තියෙනවා. සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියල මාර්ගඵල හතරක් තියෙනවා. එයින් පළමුවෙනි එකෙන් පවා ලැබුනු විමුක්තිය කොයි තරම් විශාල දෙයක්ද, කොයිතරම් උතුම් දෙයක්ද කියල හිතාගන්න පුළුවන්. එතකොට අර උදැල්ලට හේත්තුවෙලා වල් කොටමින් හිටපු, ‘භවත් ගෞතමය’ කියල බුදු පියාණන් වහන්සේට ආමන්ත්‍රණය කළ, අර මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයා, ඒක විතාශ උනාට පස්සේ අන්න අර බුදුපියාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍යයටත් වඩා, මුළුලොව අධිපතිකමටත් වඩා, දිව්‍ය ලෝකයේ යාමටත් වඩා, ශ්‍රේෂ්ඨ හැටියට සලකන සෝවාන් ඵලය ලබාගත්තා. මෙයින් අපට පෙනෙනවා ගැඹුරු ධර්ම කියන ජාතිය-‘විදර්ශනා ඥාන’ කියන ජාතිය-උගතුන්ට, උපාධිලාභීන්ට, සරසවිවලට ගිය අයට, පමණක් සීමාවුනු දේවල් නොවෙයි. මේ ගොවිතැන් බත් කරන මේ පින්වතුන්වත් තමන්ගේ ජීවිත සරසවියෙන් ප්‍රයෝජන ගන්න කල්පනා කරනවා නම් මේවා ලබාගන්න හැකි බව. දැන් අර මිථ්‍යාදෘෂ්ටික බ්‍රාහ්මණයාට යම්කිසි ගැඹුරු පුණ්‍ය ශක්තියක් තිබුනු නිසා බුදුපියාණන් වහන්සේගේ ගාථා ධර්මය අසනවාත් එක්කම අර තරම් පරිවර්තනයක් සිද්ධ උනා. මේ පින්වතුන්ට ටිකක් සැක හිතෙන්ට පුළුවන් මොකද මේ තුන්ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේ මේ තරම් වැඩ තියෙද්දි, අර තරම් සංඝයා වහන්සේලා පිළිබඳ වැඩකටයුතු තිබෙද්දී, මේ බමුණෙක් කෙතක් සීසාන තැනට කීප සැරයක් වැඩම කළේ කියල. බුදු පියාණන් වහන්සේ එතනට වැඩම කළේ අර බමුණාගේ කෙත පැහෙනකං බලාගෙන ඉඳල අස්වැන්නෙන් කොටසක් ලබාගන්න නොවෙයි. බමුණාගේ සිත පැහෙනකං බලාගෙන ඉඳල තමන් ලබාගත්තු අමාමහ නිවන් අස්වැන්නෙන් කොටසක් ලබාදීමටයි. බමුණාගේ සිත පැහුනේ අන්න අර අස්වැන්න විනාශ වුනු දවසෙයි. සමහරවිට මේ පින්වතුන්ගෙත් සිත පැහෙන්නේ ආපදා විපත්ති ලැබුනහම. දැන් මේ කාලේ ඒව පිළිබඳව අලුතෙන් කියන්න ඕන නෑ. තමන්ගේ දුදරුවන්, නෑ හිතවතුන්. කොයි විදියේ අවස්ථාවලදී ජීවිත කෙළවර කරගන්නවද කියල. සමහරවිට අසාධ්‍ය රෝග වලින්, සමහරවිට මහා කම්පනවලින්, මහා ගිනිජාලා මැද විනාශයට පත්වෙනවා. ජීවිත සරසවියේ ඒ විදියේ පාඩම් ලැබිලත්, ඒවා ගැන හිත යොදවන්නේ නැති නිසා අර මිථ්‍යාදෘෂ්ටික බමුණාට කරගන්න පුළුවන් වූ දේ වත් කරගන්න බෑ බෞද්ධයින්ට. ඒ වෙනුවට ඒ විදියේ ඇතැම් අය කල්පනා කරන්නේ මේ ගැඹුරු ධර්ම-නිවන. ලෝකෝත්තර මාර්ගඵල-කියන ජාතිය පිළිබඳව කල්පනා කරන්න මේ රට සමෘද්ධිමත් වෙලා, කිරෙන් පැණියෙන් උතුරන අවස්ථාවක පමණයි කියල. ‘එතකං අපි ආර්ථිකය නඟා හිටවන්න බලමු. ධාර්මිකයට මොනව උනත් කමක් නෑ.’ අන්න ඒ විදියේ මතිමතාන්තරයි ලෝකයේ තියෙන්නෙ. නමුත් මේ පින්වතුන්ට හිතාගන්න පුළුවන් මේ පොඩි කථාව ආශ්‍රයෙන්-දැන් කථා කියන ජාතිය, කෙටි කථා, නවකථා ආදිය මේ පින්වතුන් බොහොම ආසාවෙන් කියවනවා. ඒවායින් ගතයුතු ආදර්ශයක් නෑ. රසවිඳීම මිසක්. නමුත් ධර්ම කථා තුළින්, ජීවිත ප්‍රවෘත්ති තුළින්, අපට උගත හැකි පාඩම් බොහොමයි. මේ ශාසනයේ තෙර-තෙරණියන්ගේ ජීවිත චරිත පිළිබඳව, උපාසක-උපාසිකාවන්ගේ ජීවිත චරිත පිළිබඳව කියවන කොට පෙනෙනවා බොහෝ දෙනෙකුට මේ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ වුනේ මහා කම්පන රාශියකට මුහුණදුන් අවස්ථාවල බව. කිසා ගෝතමී, පටාචාරා ආදීන්ගේ ප්‍රවෘත්ති අංගුලිමාල ආදී ඒ විදියේ නොයෙකුත් අය, මහා ජීවන ගැටළු මධ්‍යයේ ඒ අත්දැකීම් තුළින් තමයි, චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගත්තේ. එතකොට එබඳු ඒ අවස්ථාවල් අපටත් තිබෙනවා. ඒවාට තමයි අපි අර කිව්වේ ‘වෙස්වළාගත් ආශීර්වාද’ කියල. ‘වෙස්වළාගත් ආශීර්වාද’ කියල කියන්නේ, අපට පෙනෙන්නේ ඒව ආපදා හැටියට. අපට පෙනෙන්නේ විපත්ති හැටියට. කම්පන හැටියට. නමුත් ඒ කම්පන සිද්ධවෙන්නේ මොකකටද? අර සංසාරයේ යම්කිසි අවස්ථාවක් එනවා ක්ෂණ සම්පත්තිය හැටියට. බුදුපියාණන් වහන්සේ මේ ක්ෂණ සම්පත්තියේ අගය දක්වල තියෙනවා. ක්ෂණය කියල කියන්නේ මොහොත. ‘උතුම් මොහොත ඉක්මයා නොදෙවු’ කියල බුදු පියාණන්වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා. ’බණේ වෙ මා උපච්චගා බණාතීතා හි සොචන්ති නිරයම්හි සමප්පිතා’ ‘උතුම් මොහොත-නැකත-ඉක්ම යා නොදෙවු. එහෙම ඉක්ම ගියොත් නුඹලාට නිරයේ වැටිලා දුක් විඳින්න සිද්ධ වෙනවා.’ මොකක්ද මේ උතුම් මොහොත කියල කියන්නේ? බුදු පියාණන් වහන්සේ සමහර අවස්ථාවල ප්‍රකාශ කළා, ලෝකයේ බොහෝදෙනා ‘බණකිවේවා ලෝකො. බණකිවේවා ලෝකො’ කියල ප්‍රකාශ කරනවයි, මේ ලෝකය කියන්නේ මොහොතට වැඩ කෙරෙන, වෙලාවට වැඩ කරන, තැනක් කියල. දැන් නම් වෙලාව කියන එක සලකාගන්නත් බැරි තරමට බොහොම ව්‍යාකූලයි. නමුත් බුදුපියාණන් වහන්සේ නැකත කියල හැඳින්වූයේ මේ බුද්ධෝත්පාදකාලයේ ලබන ඥානවන්ත මනුෂ්‍ය ආත්ම භාවයයි. කාරණා රාශියක් එකතුවෙලා තමයි කෙනෙකුට මේ බුද්ධෝත්පාද කාලයක ඥානවන්ත මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්න පුළුවන් වෙන්නේ. බුදු කෙනෙක් පහළ උනත් තමන් තිරිසන් ලෝකෙ, ප්‍රේත ලෝකෙ, අසුර ලෝකෙ එහෙම උත්පත්තිය ලැබුවා නම්, මේ ධර්මයට නැඹුරු වෙලා ධර්මානුකුලව ජීවත් වෙලා නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න, සසරින් මිදෙන්න, අවස්ථාව සැලසෙන්නේ නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලයක ඒ ධර්මය පවතින තැනක මනුෂ්‍යාත්මභාවයක් අංග විකලත්වයක් නැතිව ඥානශක්තිය ඇතිව ලැබුවා නම් අන්න ඒකට තමයි ක්ෂණ සම්පත්තිය කියල කියන්නේ. ඒ ක්ෂණ සම්පත්තියෙන් වැඩ ගැනීමට තමයි බුදු පියාණන් වහන්සේ අපට නිතරම අවවාද කරල තියෙන්නෙ. ඒකෙ අගය දක්වල තියෙනවා. මක්නිසාද? විශේෂයෙන්ම අර මෙතන සඳහන් වුනු ආකාරයට සෝවාන් පුද්ගලයා නිරයෙන් මිදෙනවා-පළමුවෙනිම මිදීම. මේ හැම කෙනෙක්ම කල්පනා කරන්ට ඕන, සසරින්-මුළු මහත් සංසාරයෙන්-මිදීම ලැබෙන්නේ අර්හත්වයෙන්, ඊට මෙහා පළවෙනි මාර්ගඵලයෙන්ම ලැබෙන පුදුම අන්දමේ විමුක්තියක් තමයි මේ අපායට යාමේ භයානක තත්ත්වයෙන් මිදීම-අත්මිදීම. අනන්ත කාලයක් ලෝක සත්ත්වයා තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුර ලෝකයේ, නිරයේ මහා දුක් විඳින බව බුදුපියාණන් වහන්සේත්, අභිඥාලාභී මහරහතන් වහන්සේලාත්, ප්‍රකාශ කරල තියෙනවා. අන්න ඒ තරම් ආපදා සම්පන්න අවදානම් තත්ත්වයක් ලෝකයේ-ජීවිතයේ-තිබෙන නිසා මෙන්න මේ උතුම් තත්ත්ව, විදර්ශනා ඥාන, මාර්ගඵල, වතුරාය සත්‍යය, කියන දේවල් පැත්තකට තල්ලු කරන්නේ නැතිව, මේ තමන්ට අත්දකින්නට ලැබෙන ආපදා විපත්ති තුළින්, මේ භයානක කාලසීමාවල ලබන අත්දැකීම් තුළින්, පාඩම් ඉගෙන ගන්න ඕන. සමහර කෙනෙක් හැමදාම එකම ගණන හදනවා. හදන්න හදන්න වැරදියි. හරි උත්තරය එන්නේ නෑ. අන්න ඒ වගේ තමයි මේ සංසාරයේ සත්ත්වයා මේ චතුරාර්‍ය සත්‍යය තේරුම් ගන්න බැරුව ගමන් කරන්නේ. බුදු පියාණන් වහන්සේම ප්‍රකාශ කරල තියෙනවා. ‘මහණෙනි, මමත් නුඹලත් මේ තරම් අනන්ත කාලයක් අවිද්‍යාවෙන් වැහිල තණ්හාවෙන් බැඳිල මේ සංසාරයේ ගමන් කළේ මේ චතුරාර්‍ය සත්‍යය නොදැනීමෙන්ය’ කියල. චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට ජීවිතයෙන් ලැබෙන අත්දැකීම් උපකාර කරගත යුතුව තිබෙනවා. යම් ආපදා විපත්ති එනවා නම් ඒ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ දුක පිළිබඳ සත්‍යයයි. ඒකෙන් කොටසක් මට මේ ලැබිල තියෙන්නෙ. මේකෙ යට තියෙන්නෙ තණ්හාවයි කියල අර බ්‍රාහ්මණයාට තේරුන වගේ. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන දෙයක්. ‘යෝනිසෝ මනසිකාරය’ කියල කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. යම් යම් දේවල් යම් තැනකින් පැන නැඟිනවා නම් එතන-ඒ දිහා බැලීම. එයින් එහා පැත්ත බලාගෙන ගියොත් කවදාවත් ඒකේ සත්‍යය අවබෝධ වෙන්නේ නැහැ. ‘අයෝනිසෝ මනසිකාරය’ කියල කියන්නේ අනිසි මෙනෙහි කිරීමයි. ඇත්ත වශයෙන්ම, සෝවාන්වීමට උපකාරවන කාරණා හතරක් තිබෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා ‘සප්පුරිස සංසේවො, සද්ධම්මසවනං, යෝනිසෝමනසිකාරෝ, ධම්මානුධම්මපටිපත්ති’ කියල. ‘සප්පුරිස සංසේවො’ කියන්නේ සත්පුරුෂ ආශ්‍රයයි, කල්‍යාණමිත්‍ර ආශ්‍රයයි. ‘සද්ධම්ම සවනං’ කියන්නේ ධර්ම ශ්‍රවණය-සද්ධර්මය ඇසීම. ‘යෝනිසෝ මනසිකාරෝ’ කියල කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. ඊළහට ‘ධම්මානුධම්මපටිපත්ති’ කියල කියන්නේ ධර්මයට අනුව පිළිපැදීම-ආර්ය අෂ්ටාංශික මාර්ගය. එතකොට මෙන්න මේ හතරයි. දැන් අර බ්‍රාහ්මණයාට මේ හතර සම්පූර්ණ උනාද කියල සමහරවිට කෙනෙකුට සැක හිතෙන්ට පුළුවන්. නමුත් අතීත සංසාරයේ ඒව පුරල තියෙන කෙනාට ඉතාම සුළු උද්දීපනයකින් ඒ ගැඹුරු අවබෝධය ලබාගන්න පුළුවන්. වැටහීම කියන එක ඒ ඒ පුද්ගලයාට ඒ ඒ ආකාරයටයි එන්නේ. දැන් මේ පින්වතුන් අතරත් සමහරවිට ටිකක් කියන කොට තේරෙන අය ඉන්නවා. සමාජයේ කථාවක් තියෙනවා ‘මට නම් හැරෙනකොට තේරෙනවා’ කියල. අන්න ඒ වගේ. හැරෙන කොට තේරෙන අයත් හිටියා. බුදු පියාණන්වහන්සේ හැරෙනකොට, යන්තම් එක වචනයක් දෙකක් පාවිච්චි කරන කොට, එයින්ම තේරුම් අරගෙන නිවන අවබෝධ කළ අයත් හිටියා. සමහර අයට ටිකක් දිගට කියන්න වෙනවා. සමහර අයට නොයෙකුත් විදියේ උපක්‍රම යොදන්නම වෙනවා. දැන් මෙතනත් බුදුපියාණන් වහන්සේ අර බ්‍රාහ්මණයා තුළ ශ්‍රද්ධාව ඇති කරන්න කුලූපගවීමක් වගේ නිතර කෙත ළහට ගිහිල්ල ඇති කරගත්තා. බුදු පියාණන් වහන්සේ දැක්කා ඒ තරම් අලාභයක් බ්‍රාහ්මණයාට වෙන බව. ඒක නොදැක නොවෙයි-අස්වැන්නෙන් කොටසක් බලාපොරොත්තුවෙන් නොවෙයි. නමුත් ක්‍රමක්‍රමයෙන්, ඒ වෙනුවෙන් විශේෂ වෙහෙසක් අරගෙන, බුදු ශාසනය අර බ්‍රාහ්මණයා ළහට අරගෙන ගියා. ඒකේ ප්‍රතිඵලය තමයි බ්‍රාහ්මණයාට ඒ විමුක්තිය ලැබීම. ඒ විදියට මේ පින්වතුනුත් උත්සාහවත් වෙන්න ඕන තමන්ට ලැබෙන ජීවන ගැටළු තුළින්, ආපදා තුළින්, ජීවිතයේ යථා තත්ත්වය අවබෝධ කරගන්න, සංසාර තත්ත්වය අවබෝධ කරගන්න. හැමදාම හොඳ පන්තියේ ඉන්නවා වගේ ආස්වාද පන්තියෙම ඉන්නේ නැහැ. මේකෙ ආදීනව පක්ෂයක් තියෙනවා කියල බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ‘මම ලෝකයේ ආස්වාද පක්ෂය සොයාගෙන ගියා. ලෝකයේ යම් ආස්වාද පක්ෂයක් තියෙනවා නම් මම ඒක තේරුම් ගත්තා. ඊළහට මම ආදීනව පක්ෂය සොයාගෙන ගියා. ඒ ආදීනව තත්ත්වයත් මම තේරුම් ගත්තා. ඊළහට මම ලෝකයෙන් නිස්සරණය-නික්මීම-පිළිබඳව පර්යේෂණ කළා. ඒ පර්යේෂණ කියන වචනයත් යොදනවා. ඒකත් මේ කාලයේ පාවිච්චි කරන එකක් ඔය ශාස්ත්‍රීය කටයුතු පිළිබඳව ’පර්යේෂණ’. අනාරිය පරියෙසන, අරිය පරියෙසන කියල වචන දෙකක් යොදල තියෙනවා-අනාරිය පර්යේෂණයත්, ආරිය පර්යේෂණයත්, අනිසි සෙවීමත් නිසි සෙවීමත්. එතකොට බුදුපියාණන් වහන්සේ මේ ආරිය පර්යේෂණය තුළින් ඒ නිස්සරණය-නිවන-අවබෝධය කළා. අවබෝධ කරගෙන තමයි බුදුපියාණන් වහන්සේ ඊළහට ලෝක සත්ත්වයින්ට-දෙවියන්ට, මනුෂ්‍යයින්ට, අර විදියේ දුගී පුද්ගලයින්ට, නොයෙකුත් අතවරවලට පාත්‍ර වූ ස්ත්‍රී පුරුෂයින්ට මහා දාමරිකයන්ට, චරිත දූෂිත අයට ඒ වගේම සංඝයා වහන්සේලාට නොයෙකුත් තීර්ථක, පරිබ්‍රාජක, නිගණ්ඨ ආදීන්ට-හැමදෙනාටම උපකාර කළේ. උන්වහන්සේට පෙනුනා මේ අයගේ සංසාරයේ යම් යම් හොඳ ගුණත් තිබෙනවා කියල. නරක ගුණවලට, ඒවා යටපත් කරන අන්දමේ ධර්ම දේශනා කරල ධර්මානුධර්ම ප්‍රතිපත්තියට ගත්තා. දැන් මෙතන අර සත්පුරුෂ ආශ්‍රය උපකාර වෙනවා. ඊළහට සද්ධර්ම ශ්‍රවණය. අර බ්‍රාහ්මණයාට එකවර ලැබුන මේ හතරම. ලෝකයේ ඉන්න උතුම්ම කල්‍යාණ මිත්‍රයාණන්වහන්සේ තමයි ඒ බ්‍රාහ්මණයාගේ කෙත ළහට-අර නිවසට-වැඩම කළේ. එතකොට ඒ සත්පුරුෂ ලාභය ලැබුනා. සද්ධර්ම ශ්‍රවණ හැටියට අර ගාථා පද උනත් ඇතිවුනා. ඊළහට යෝනිසෝමනසිකාරය. බ්‍රාහ්මණයා හිත යොදවලා, කෙතේ දර්ශනය වෙනුවට හිත දිහා හැරිල බලල ඒ සත්‍යය වටහා ගත්තා. යෝනිසෝ මනසිකාරයෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියටත් මග පෑදුනා. දැන් මේ කාලේ සමහරවිට කෙනෙක් හිතන්ට පුළුවන් මුළු ජීවිතයම ආර්‍ය අෂ්ටාංශික මාර්ගයේ යෙදීමය කියල. ඇත්තම කෙනෙකුට එහෙමත් යෙදීම අවශ්‍ය වෙනවා. නමුත් අතීතයේ ඒ ධර්ම පුරල තියෙන කෙනාට ඉතාම සුළු වෙලාවකින් අර ධර්මානුධර්ම ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනවා. දැන් කෙනෙක් ලෝකයෙන් හිත මෑත් කරගෙන උපවාස කරනවා නම් මට ජීවිතය එපා කියල, ඒ තැනැත්තා තුළ කෙලෙස් අඩුයි. ජීවිත අපේක්ෂාව නැති කරගෙන තියෙන්නෙ වැරදි අදහසකින් නමුත්, අන්න එබඳු අවස්ථාවක බමුණාට මේ ධර්මය වැටෙනවාත් එක්කම ආර්‍ය අෂ්ටාංශික මාර්ගය සිත ඇතුළේ සම්පූර්ණ වෙන්න ඇති. ඒක ඉතාම ගැඹුරු දෙයක්. දැන් මේ පින්වතුන් දන්නවා දේදුන්නක වර්ණ දකින්න බොහොම දෙනෙක් ආසාවෙන් ඉන්න බව-කුඩා දරුවන් එහෙම. ඔය මේ වගේ වැහීගෙන එන වෙලාවක අහස දිහා බැලුවහම කලාතුරකින් අපට දකින්න පුළුවන් දෙයක් නමුත් හැමවිටම එහෙම දකින්න බැරිවුනත් දේදුන්නක තිබෙන සූර්යයාගේ ලස්සන වර්ණ බලන්ට පුළුවන් ඔය වැළක කොලයක එල්ලෙන පොඩි පිණි බිංදුවක් දිහා හරියට එල්ලයට අනුව ඉර පායන වෙලාවක බලනකොට. අරක මැණිකක් වගේ දිලිසෙනවා. ඒක ඇතුළේ අර රශ්මි දකින්න පුළුවන් වෙනවා. පිණි බිංදුවක් තුළින් පුළුවන් දේදුනු වගේ දකින්නට. ඒ වගේ තමයි, පොඩි ගාථාවක්-ගාථා පදයක්-වචනයක්-තුළින් කෙනෙක් හරියට ඉලක්කය අනුව බැලුවා නම්, සම්‍යක් දෘෂ්ටිය ඇති කරගත්තා නම්, ඒ තැනැත්තාට පුළුවන් ඒ තුළින් නිවන දකින්න. ඒ වගේ දෙයක් තමයි අර බ්‍රාහ්මණයා තුළ ඇතිවුන චිත්ත විප්ලවය. අන්න ඒ විදියට ගැඹුරින් කල්පනා කර බලන කොට මේ ධර්ම කථාවකින් අපට ආදර්ශ රාශියක් ගන්න පුළුවන්. ඒ වගේම අපේ මේ ජීවිතය ගෙවෙන ආකාරය, ජීවිතයේ යථා ස්වභාවය, නිතර මෙනෙහි කරන්ට ඕන. බුදු පියාණන් වහන්සේ මේ ජීවිතයේ යථා ස්වභාවය යථාර්ථය (දැන් මේ වචනය යොදනව සමාජයේ) ‘ඇත්ත ඇති සැටිය’ දක්වල තියෙනවා වාක්‍ය හතරකින්. ධර්ම මාතෘකා හතරකින්. මේ හතර තමයි: 1. උපනීයති ලෝකෝ අද්ධුවො 2. අත්තාණො ලෝකෝ අනභිස්සරො 3. අස්සකො ලෝකෝ සබ්බං පහාය ගමනීයං 4. ඌනෝ ලෝකෝ අතිත්තො තණ්හාදාසො මේ ධර්ම මාතෘකා හතර පිළිබඳව හොඳ විවරණයක් අපට ලැබෙනවා රට්ඨපාල ස්වාමීන්වහන්සේගෙන්. රට්ඨපාල ස්වාමීන්වහන්සේ කියන්නේ මේ ශාසනයේ ශ්‍රද්ධාවෙන් පැවිදිවුනු අතර අග්‍ර තනතුර ලැබූ කෙනෙක්. බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල තමන්වහන්සේගේ ශ්‍රාවකයින්ට ඒ ඒ අංශ අතින් අගතනතුරු දෙනවා. ප්‍රඥාවෙන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අග්‍රයි. සෘද්ධිමතුන් අතර මුගලන් මහා ස්වාමීන්වහන්සේ අග්‍රයි. උපාධ්‍යායකයින් අතර ආනන්ද ස්වාමීන්වහන්සේ අග්‍රයි. දැන් මේ කාලේ සරසවිවලත් නොයෙකුත් උපාධි දෙනවනේ ඒ වගේ. ඒක ලෝකයට ආදර්ශයක් වශයෙන්. ප්‍රඥාව ඕන නම් මේ පැත්ත බලන්න. සෘද්ධි ඕන නම් අර පැත්ත බලන්න. උපස්ථාන කටයුතු පිළිබඳව ඕන නම් මේ පැත්ත බලන්න. ඒ විදියට, ඒ වගේ ශ්‍රද්ධාවේ තිබෙන ශක්තිය, ශ්‍රද්ධාවේ තිබෙන පුදුම ප්‍රාතිහාර්‍ය, දකින්න ඕන නම් රට්ඨපාල ස්වාමීන්වහන්සේ දිහා බලන්න. මොකද රට්ඨපාල ස්වාමීන්වහන්සේ බුදුපියාණන් වහන්සේගෙන් එකවරක් ධර්මය අහල පැවිදිවෙන්න අවසර ඉල්ලූව, මවුපියන්ගෙන්. රට්ඨපාල ස්වාමීන්වහන්සේ මහා ධනවන්ත පවුලක කෙනෙක්. තමන්ගේ මවුපියන්ගෙන් අවසර ඉල්ලුවාම ඒ තරුණ වයසෙදි, ඒකට අවසර ලැබුනේ නෑ. එතනම බිම දිගා වුනා. ‘එක්කො මරණය එක්කො පැවිද්දට අවසර’ කියල. මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. අන්තිමට මේක බේරගන්න බැරිව යාලුවන් මිත්‍රයන් එකතුවෙලා මවුපියන්ට කරුණු කියල යම්තම් පැවිදිවෙන්න අවසර ලබාදුන්නා. ඒ රට්ඨපාල ස්වාමීන්වහන්සේ රහත් උනාට පස්සේ තමන්ගේ ගමට වැඩම කළා. කුරු ප්‍රදේශයට වැඩම කළ අවස්ථාවේ ඒ කුරු රටේ කෝරව්‍ය රජතුමා රට්ඨපාල ස්වාමීන්වහන්සේගෙන් ඇසුවා ඇයි රට්ඨපාල ස්වාමීනි මේ තරම් ධනවත් පවුලක ඉපදිල මේ තරම් තරුණ වයසේදී ඇයි පැවිදි උනේ කියල. පැවිදිවෙන්න මොකද හේතුව? කියල. ඒ අවස්ථාවේ රට්ඨපාල ස්වාමීන් වහන්සේ කියනවා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ධර්ම මාතෘකා හතරක්-ජීවිතය පිළිබඳ යථාර්ථය ප්‍රකාශ කරන ධර්ම මාතෘකා හතරක්-අහල, ඒකේ තත්ත්වය දැනගෙන, දැකල, ඒක සත්‍යබව තේරුම් අරගෙනයි මම පැවිදි උනේ කියල. නිකම්ම නොවෙයි කියල. දැන්, ශ්‍රද්ධාවෙන් කියල කියන කොට ඇතැම් කෙනෙක් හිතන්ට පුළුවන් මොකද ශ්‍රද්ධාවෙන්ය කියල. මොනවද මේ කාරණා හතර කියන එක අපි සඳහන් කළා. උන්වහන්සේ ප්‍රකාශ කළා රජතුමාට, ලෝකයේ ස්වභාවය තමයි ‘උපනීයති ලෝකෝ අද්ධුවො’-‘ලෝකය ඉදිරියට තල්ලු වී යන අස්ථිර තැනක්’. මොකක්ද මේක තේරුම් කියල රජතුමා අහනවා. මේක බැලුවහම ටිකක් ප්‍රහේලිකා වගේ නිසා. එතකොට රට්ඨපාල ස්වාමීන්වහන්සේ ඒක තේරුම් කිරීම වශයෙන් රජතුමාගෙන් අහනවා: මහරජ, ඔබට වයස 20-25 වගේ කාලේදී කොහොමද හොඳට කාය බල-ශරීර ශක්තිය තිබුනද? ඇත්-අස්-රථ-පාබල සේනා හැසිරීම පිළිබඳව, ඇතුන් අසුන් හැසිරවීම පිළිබඳව, කඩු-දුනු ශිල්ප පිළිබඳව, දක්ෂකම් එහෙම තිබුනද? ‘අපොයි ඔව්, ඒ කාලේ නම් මට හිතුනා මා තරම් බලවන්ත කෙනෙක්, ශක්තිමත් කෙනෙක්, නැහැයි කියල. මට සෘද්ධි තියෙනවයි කියලත් හිතුනා. ඒ තරමටම මට කාය බලය, ශක්තිය කිබුනා.’ එතකොට රට්ඨපාල ස්වාමීන්වහන්සේ අහනවා; ‘හොඳයි මහරජ, දැනුත් එහෙමද?’ කියල. ‘අපොයි දැන් නම් එහෙම නෑ. දැන් මට වයස අවුරුදු අසූවක් විතර වෙනවා. ජරා ජීර්ණ මහල්ලෙක්. දැන් සමහරවිටෙක මම මෙතන පය කියනවා කියලා අතනයි පය කියන්නේ. අතපයවත් වලංගු නෑ.’ අන්න මේක තමයි, මහරජ, බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කළේ: ‘උපනීයති ලෝකෝ අද්ධුවො’, ලෝකයා ජරාව විසින් ඉදිරියට තල්ලු කරනු ලබනවා. මේක අස්ථිර දෙයක්. ලෝකය අස්ථිර දෙයක්. ලෝකය කියල කියන්නේ ලෝකයා-ජීවිතය, ජීවිතයේ ඔන්න ඔය සත්‍යයයි. එතකොට රජතුමා ප්‍රකාශ කරනවා ’ආශ්චර්යයි, ස්වාමීන්වහන්ස, අද්භූතයි මේ කාරණය. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ දෙය කොයිතරම් සත්‍යද කියන එක. එතකොට අන්ත දුගියකුගේ ජීවිතය පිළිබඳවත් මහරජකුගේ ජීවිතය පිළිබඳවත් සත්‍යවූ යථාර්ථය තමයි බුදුපියාණන් වහන්සේ මේ බණ පදයෙන් ප්‍රකාශ කරල තියෙන්නෙ. ඊළහට දෙවෙනි කාරණය පිළිබඳව රජතුමා අසනවා රට්ඨපාල ස්වාමීන්වහන්සේගෙන්; මේ මොකද ස්වාමීන්වහන්සේ ‘අත්තාණො ලෝකෝ අනභිස්සරො’ කියල ප්‍රකාශ කළේ? ඒක සාමාන්‍ය අදහස ‘ලෝකය ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති තැනක්ය’ කියන එකයි. මේ කාලේ උනත් ඒක කිව්වොත් කෙනෙක් ටිකක් ගැස්සිල හිටිනවා. ‘ලෝකය ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති තැනක්: මොකද එහෙම ප්‍රකාශ කළේ?’ රජතුමා අහනවා: ‘මට ඇත්-අස්-රථ-පාබල සේනා තිබෙනවා. ඒ තරම් මට ආරක්ෂාවල් තිබෙනවා. ඇයි මෙහෙම ප්‍රකාශ කළේ?’ කියල. එතකොට රට්ඨපාල ස්වාමීන්වහන්සේ රජතුමාගෙන් අහනවා. ‘මහරජ, ඔබට යම්කිසි නිදන්ගත රෝගයක් එහෙම කියෙනවද? කියල. රජතුමා ප්‍රකාශ කරනවා ’එහෙමයි, ස්වාමීනි. මට තියෙනවා බරපතළ වාතාබාධයක්. සමහර අවස්ථාවල ඒ වාතාබාධය උත්සන්න උනහම මගේ නෑ හිතමිතුරන් මාව පිරිවරාගෙන ’අන්න දැන් කෝරව්‍ය රජතුමා කලුරිය කරාවි. මැරේවි’ කියල කියනවා අහෙනවා‘. එතකොට රට්ඨපාල ස්වාමීන්වහන්සේ අහනවා, ’මහරජ, එබඳු ඒ අවස්ථාවල ඔබට පුළුවන්ද ඒ නෑ හිත මිතුරන්ට කියන්න ’අනේ මේ කට්ටිය එකතුවෙලා ටික ටික මගේ වේදනාව බෙදාගන්න. මගේ වේදනාව අඩුකරගන්න’ කියල. එහෙම කරන්න පුළුවන්ද? ඔය කියන නෑ හිතවතුන්ට තමන්ගේ වේදනාව බෙදා දීල සහනයක් ලබාගන්න පුළුවන්ද?’ ‘මට එහෙම කරන්න බෑ’ කියල රජතුමා ප්‍රකාශ කරනවා. ‘අන්න ඒක තමයි බුදුරජාණන්වහන්සේ ප්‍රකාශ කරල තියෙන්නේ ’අත්තාණො ලෝකෝ අනභිස්සරො’. ලෝකය ආරක්ෂාවක් නැති පාලකයෙක් නැති තැනක්. තමන්ට බෑ මෙබඳු තැන්වලදී ආරක්ෂාවක් ලබාගන්න. අන්න එතකොටත් රජතුමා ‘කොයිතරම් ආශ්චර්ය අද්භූත කාරණයක්ද’ කියල ඒක පිළිගත්තා. රජතුමා ඊළහට අහනවා: දැන් මට මේ රජමැදුරේ තිබෙනවා රන් රිදී මුතු මැණික් බොහොම ධන ධාන්‍ය තිබෙනවා එහෙම තිබෙද්දී මොකද රට්ඨපාල ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරන්නේ, ‘අස්සකො ලෝකෝ සබ්බං පහාය ගමනීයං’ කියල. ඒකේ අදහස ලෝකය කියන්නේ, තමන්ටෙයි කියල අයිති දෙයක් නැති තැනක්ය. සියල්ල අතහැර යා යුතු තැනක්ය. මේ කියමනේ තේරුම මොකක්ද කියල ඇසුවාම රට්ඨපාල ස්වාමීන්වහන්සේ විමසනවා දැන් මහරජ, ඔබ මේ පංචකාම සම්පත්තිය විදිමින් හොඳට ජීවත් වෙනවා. පරලොව යනකොටත් මේව අරගෙනයන්න පුළුවන්ද? එහෙම නැත්තම් මෙහේ ඉන්න කෙනෙකුට ඒව පවරල දීල යන්න වෙනවද? අතහැරල දාල යන්න වෙනවා නේද? ‘එය එසේමයි, ස්වාමීනි, මට මේ එකක්වත් අරගෙන යන්න බෑ. පරලොව යන්නේ මගේම කර්මානුරූපව, මා කළ හොඳ-නරක අරගෙනයි මා පරලොව යන්නේ’ කියල රජතුමා කිව්වා. ‘අන්න මේක තමයි බුදුපියාණන්වහන්සේ ප්‍රකාශ කළේ ලෝකයේ තමාට කියල අයිති දෙයක් නැත හැමදෙයක්ම අතහැරල යන්න වෙනවයි කියල’. ඒක පිළිගත්තා රජතුමා. ඊළහට අවසාන වශයෙන් ප්‍රකාශ කරන එක තමයි අපි මේ අවස්ථාවේ මතක් කළ ගාථාවටත් අදාළ දෙය-ඌනෝ ලෝකෝ අතිත්තො තණ්හාදාසො‘. ඒකත් මේ රජතුමා අසනවා මොකද මේකෙ තේරුම කියල. ඒ පාඨයෙ අදහස: ’ලෝකය නිතරම අඩුවක් ඇති, සෑහීමක් නැති, තණ්හාවට වහල්වූ තැනක්’ කියන එකයි. එතකොට රට්ඨපාල ස්වාමීන්වහන්සේ ඒක රජතුමාට ප්‍රත්‍යක්ෂ කරවන්න අසනවා ප්‍රශ්න කීපයක්. ‘දැන් මහරජ, ඔබ මේ මහා සමෘද්ධියක් ඇති කුරු රටට අධිපතිව වසනවා නේද?’ ‘එහෙමයි’. ‘දැන් ඔබ හමුවෙන්න කවුරුවත් එනවා චරපුරුෂයෙක්, එහෙම නැත්නම් විශ්වාස කටයුතු පුද්ගලයෙක්. ඇවිල්ල, මෙහෙම ප්‍රවෘත්තියක් කියනවා: ’මම නැගෙනහිර දිශාවෙන් එන්නේ. ඒ දිසාවෙ තියෙනවා බොහොම ධනධාන්‍ය ඇති සමෘද්ධිමත් රටක්. ඒක බොහොම පහසුවෙන් ඔබ තුමාට දිනාගන්න පුළුවන්’ කියල. එහෙම කිව්විහම, මහරජ, ඔබ ඒ පිළිබඳව මොකක්ද කරන්නේ-එහෙම ආරංචියක් ලැබුනහම?’ ‘මම ඒ රටත් දිනාගන්නවා’ ‘අන්න ඊළහට අහනවා: හොඳයි ඒවගේම බටහිර දිසාවෙනුත් අර වගේම දුතයෙක් ඇවිල්ල කියනවා: ’ඒ පැත්තෙක් කියනවා මේ වගේ ලොකු ජනපදයක් දේවයන් වහන්ස, ඔබ තුමාට පුළුවන් පහසුවෙන්ම ඒක දිනාගන්නට”. ’එතකොට එහෙනම් මම ඒකත් අල්ලගන්නවා, ඒකත් ජයගන්නවා’, ඒවගේම උතුරු දිසාවෙනුත්, දකුණු දිසාවෙනුත්. ඔය විදියට රජතුමා ප්‍රකාශ කළාම රට්ඨපාල ස්වාමීන්වහන්සේ ඒ කාරණය එත්තු ගන්වනවා: “අන්න ඔය නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙන්නෙ ‘ලෝකය මොකක්දෝ අඩුවක් ඇති තැනක්ය කියල’. හැම තිස්සෙම මොකක් හරි අවශ්‍යයි. කවදාවත් සෑහීමට පත්වෙන්නේ නෑ. තණ්හාවට වහල්. රජතුමාත් තණ්හාවට වහල්වෙලා. රජතුමා හිතන්නේ අධිපතියි කියල. දැන් මේ කාලෙත් නොයෙකුත් ‘අධිපති’ නාම තියෙන අය ඉන්නවා. ‘අධිපති’ කියන වචනයෙ සාමාන්‍ය අර්ථයක් තිබුනට මොකද මේ හැම දෙනෙක්ම තණ්හාවට වහල්-‘තණ්හාදාසයෝ’. රජතුමාත් තණ්හා දාසයෙක්. එතකොට මේ තණ්හාදාසත්වයෙන් මිදීම තමයි තණ්හාවෙන් මිදීම කියල කියන්නේ. නිවන කියන්නේ මේ තණ්හා පිපාසය සංසිඳුවා ගැනීම. ඒ පිපාසය සන්සිඳුනු අවස්ථාව. උණකාරය වතුර ඉල්ලන්නා වගේ මේ පිපාසය අනන්ත කාලයක් සංසාරයේ අපව තල්ලු කරගෙන ආව-මේ තණ්හා පිපාසය. මේක කවදාවත් සන්සිඳෙන්නේ නෑ. ඉතාමත් විචිත්‍ර දේවල්, ඉතාමත්ම අනර්ඝ සුඛෝපභෝගී දේවල්, ඒ කොයිවයින් සම්පූර්ණ උනත්. චක්‍රවර්ති රජකෙනෙකුට කියන සැප සම්පත් ගැන හිතන කොට මේ කාලේ ඔය දියුණුය කියන රටවල් ඒ මහා ධනවතුන් විඳින සැපසම්පත් ‘හිඟන සැප’, ඒ තරම් විශාල සැප සම්පත් චක්‍රවර්ති රජවරු විදල තිබෙනවා. නමුත් එයිනුත් සැහීමකට පත්වුනෙ නෑ. මෙන්න මේක තණ්හාවේ ස්වභාවය. මේ තණ්හාවට, මේ ගින්නට, දර දාල කවදාවත් නිවන්න බෑ. ඒ වෙනුවට ඒ ගින්න ඇතිවුන තැනම-එතනම, නිවා ගතයුතු වෙනවා, අර බ්‍රාහ්මණයා එතනම තණ්හාව නැති කරගත්ත වගේ, තමන්ගේ කෙත පිළිබඳව. ඒ එක්කම ගැඹුරු අදහසක් ලබාගත්තා. මේකයි සසරින් මිදීමේ හොරේ. මේකයි මෙතන තියෙන රහස කියන එක, ඒ බ්‍රාහ්මණයා අවබෝධ කරගත්තු නිසා තමයි සෝවාන් තත්ත්වය ලැබුවේ. මෙන්න මේ න්‍යායය තමන්ට ලැබෙන ජීවන ගැටළු, ආපදා, විපත්ති තුළින් මතුකර ගැනීමෙන් තමයි අර වෙස්වළාගත්තු ආශීර්වාදයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක නිසා කාලවිපත්ති වශයෙන් පෙනෙන උපද්‍රව හෝ වේවා, එහෙම නැත්තම් තව නොයෙකුත් ලෝකයේ ඇතිවන විප්ලව හෝ වේවා, මේවා තුළින් අපි මේ බුද්ධ ශාසනය මතුකර ගන්න බලන්න ඕන. ‘බුද්ධ ශාසනය’ කියන එක ලොකු වචනයක්, බර වචනයක්. දැන් මේ කාලේ වචනවල ශබ්දය විතරක් ඉතිරිවෙල අර්ථය ගිලිහී යන ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන්ම ධර්මයට අදාළ වචනවල ශබ්දය එන්න එන්න වැඩිවෙනවා. නමුත් අර්ථය ගිලිහී යනවා. අන්න එබඳු වචනයක් තමයි ‘බුද්ධ ශාසනය’ කියන එක. දැන් මේ කාලේ ‘බුද්ධ ශාසනය’ කියල කිව්වොත් ගොඩනැඟිලි සිහියට නැගෙන්නේ. නොයෙකුත් විදියේ දේවල් සිහියට නැගෙනවා ඇති, ‘බුද්ධ ශාසනය’ කියන කොට. නමුත් ගැඹුරින් කල්පනා කරල බලනකොට, ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට අරගෙන ඇවිල්ල දේවානම්පියතිස්ස රජ්පුරුවන්ට බාරදුන්න බුද්ධ ශාසනයම තමයි බුදුපියාණන් වහන්සේ අර දුප්පත් බ්‍රාහ්මණයාගේ ගෙදරට ගිහිල්ල දුන්නේ. ඒ බුද්ධ ශාසනයේ පරමාර්ථය නිවනයි. ජීවන දර්ශනය ආර්ය අෂ්ටාංශික මාර්ගයයි. සම්‍යක් දෘෂ්ටියයි, චතුරාර්‍ය සත්‍යයයි. ජීවන ප්‍රතිපදාව සීල-සමාධි-ප්‍රඥා මගයි. මේකයි බුද්ධ ශාසනය. එතකොට මෙන්න මේ බුද්ධ ශාසනයයි බෞද්ධ පින්වතුන් අද වැනි දවසක සිහියට නඟාගෙන ආරක්ෂා කළයුත්තේ. මේ බුද්ධශාසනය ආරක්ෂා කරගන්ට උපකාරවෙන දේවල් තමයි අපි සිටිවේ. දැන් සෝවාන් තත්ත්වය ලබාගැනීමට නම් කාරණා හතරක් උපකාර වන බව ප්‍රකාශ කළා. සත්පුරුෂ ආශ්‍රය-මේක එදිනෙදා ජීවිතය ගැන කල්පනා කරන කොට බොහොම හිත යොදල කල්පනාවෙන් ප්‍රයෝජනයට ගතයුතු කාරණයක්, ‘සත්පුරුෂ ආශ්‍රය’ කියන එක. ‘සත්පුරුෂයා’ කියන තැනැත්තා ධර්මයෙහි හඳුන්වන්නේ කල්‍යාණ මිත්‍රයා හැටියටයි. කල්‍යාණ මිත්‍රයා කියල කියන්නේ ධර්මඥානය ඇති, ධර්මයට අනුව ජීවත්වන, බණ භාවනා කරන, ගිහි හෝ පැවිදි හෝ කෙනෙක්. ධර්මානුකුල ජීවිතයක් ගෙවන තැනැත්තා තමයි සත්පුරුෂයා. එබඳු සත්පුරුෂයෙක් සමාජයට ප්‍රදීපස්තම්භයක් වගෙයි. පහන් කණුවක් වගෙයි. ‘පහන් කණුව’ කියන එක මේ පින්වතුන් හොඳට දන්නවා. පහන් කණුව කියන්නේ අනුන්ට ආලෝකය දෙන වස්තුවක්. අන්න ඒවගේ පහන් කණුවක් තමයි ‘සත්පුරුෂයා’, ‘කළ්‍යාණමිත්‍රයා’ කියන පුද්ගලයා. ලෝකයේ ඇති ශ්‍රේෂ්ඨතම පහන්කණුව තමයි බුදුපියාණන්වහන්සේ, තුන්ලෝකාග්‍ර බුදුපියාණන්වහන්සේ. ඒ ධර්මාලෝකය විහිදවූ බුදුපියාණන්වහන්සේ. ඊට මෙහායින් සිටින්නේ අෂ්ටආර්ය පුද්ගල මහාසංඝරත්නය. එහෙමත් නැත්නම් ගිහි හෝ පැවිදි හෝ ධර්මානුකුල ජීවිතයක් ගෙවන, බණ භාවනා කරන පින්වතුන්. ඒ හැම කෙනෙක්ම ප්‍රදීපස්තම්භයක්, පහන් කණුවක්, සත්පුරුෂයෙක්, කළ්‍යාණ මිත්‍රයෙක්. එබඳු කළ්‍යාණමිත්‍රයින් ආශ්‍රය කිරීමෙන් තමයි කෙනෙකුගේ දියුණුව සැලසෙන්නේ, සංසාර විමුක්තිය ලබාගන්න පුළුවන් වෙන්නේ. අනිත් පැත්තට කල්පනා කර බලනකොට පාප මිත්‍රයින් තමයි ලෝකයේ වැඩිපුර සිටින්නේ, සමාජයේ වැඩිපුර සිටින්නේ. එබඳු ඇත්තන් හැකිතාක් දුරට ඈතින් තබාගෙන, පුළුවන් නම් ඒ අය දුරින්ම දුරුකරල, ඒ අයගෙන් ප්‍රවේසම්වෙල, ජීවිතය ගෙවිය යුතුයි. මක් නිසාද, පාපමිත්‍ර සේවනය නිසා භයානක විනාශයකට පත්වෙනවා. එක් අවස්ථාවක ආනන්ද ස්වාමීන්වහන්සේ මේ කළ්‍යාණමිත්‍ර ආශ්‍රයේ වටිනාකම ගැන ප්‍රකාශ කරන්න ගිහිල්ල බුදුපියාණන් වහන්සේට කියනවා: ‘ස්වාමීන්වහන්ස, මට පේන හැටියට නම් කළ්‍යාණමිත්‍රතාව කියන එක බුද්ධ ශාසනයෙන් භාගයක්ය, මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම වටිනවයි කළ්‍යාණ මිත්‍රතාව’. බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ‘ආනන්ද, එහෙම කියන්න එපා. මේ බුද්ධ ශාසනයෙන් භාගයක් නොවෙයි මුළු මහත් බුද්ධශාසනයම කළ්‍යාණ මිත්‍රත්වයයි කියල. බුද්ධ ශාසනය කියල කියන්නේ කළ්‍යාණ මිත්‍රත්වයයි. කළ්‍යාණමිත්‍ර සම්පත්තියයි. දැන් මේ පින්වතුන් යම්කිසි කළ්‍යාණමිත්‍රත්වයක් නිසයි මෙතනට රැස්වෙලා සිටින්නේ. එකිනෙකා සමහරවිට අඳුනන්නේ නැතිව ඇති. වෙන වෙනම පෞද්ගලික වශයෙන් සම්බන්ධකම් ඇති අය නොවෙන්න පුළුවන්. නමුත් ධර්මය අතින්-ධර්මශ්‍රවනයට, ධර්මයට ලැදිවීම අතින් කළ්‍යාණ මිත්‍ර ගුණය තියෙනවා. අන්න ඒ විදියට තමයි බුද්ධ ශාසනයක් පවතින්නේ. පාපමිත්‍ර ආශ්‍රයෙන් ශාසනය පරිහානියට පත්වෙනවා. කළ්‍යාණමිත්‍රයින් සොයාගෙන ගිහිල්ල, ඒ අය ඇසුරු කරල, ඒ අයගෙන් ගතයුතු දේ ගනිමින්-උපකාර ගනිමින්-තමයි බුද්ධශාසනයක් ආරක්ෂාකරගන්නට වෙන්නේ. කළ්‍යාණමිත්‍ර ආශ්‍රය-’සප්පුරිස සංසේවො’ කියනඑක-ඉතාම දුර්ලභ දෙයක්. බුදුපියාණන් වහන්සේ දුර්ලභ කාරණා හයක් දක්වලා තියෙනවා. 1. දුල්ලභො බුද්ධුප්පාදො ලොකස්මිං 2. දුල්ලභො මනුස්සත්තපටිලාභො 3. දුල්ලභා ඛණසම්පත්ති 4. දුල්ලභො පබ්බජ්ජා 5. දුල්ලභං සද්ධම්මස්සවනං 6. දුල්ලභො සප්පුරිස සංසේවො බුද්ධෝත්පාදකාලය ඉතාම දුර්ලභයි. මනුෂ්‍යාත්මභාවය ඉතාම දුර්ලභයි. ඒ වගේම ක්ෂණසම්පත්තිය දුර්ලභයි. අපි අර සඳහන් කළ, බුද්ධෝත්පාදකාලයේ ලබන අංග විකලත්වයෙන් තොර ඥානවන්ත මනුෂ්‍යාත්මභාවය ක්ෂණසම්පත්තියයි. ඒකත් දුර්ලභයි. ඊටත් වඩා දුර්ලභයි පැවිද්ද. ඊළහට ඊටත් වඩා දුර්ලභයි ධර්මශ්‍රවණය. ඒ හැම එකකටම වඩා දුර්ලභව තියෙන්නෙ, අවසාන වශයෙන්, සත්පුරුෂ ආශ්‍රය-‘සප්පුරිස සංසේවො’. සත්පුරුෂ ආශ්‍රය හරියට අර ඉලක්ක පුවරුවක මැදින් තියෙන තිත වගෙයි. මක්නිසාද, බුද්ධෝත්පාද කාලය දුර්ලභ උනත් ඒක තුළ තවත් හුඟක් කාරණා එකතු වෙන්න ඕන කෙනෙකුට විමුක්තිය ලබන්න. බුද්ධෝත්පාද කාලය ලැබුවත් මනුෂ්‍යාත්මභාවයක් ලැබෙන්නට ඕන. මනුෂ්‍යාත්මභාවයක් එක්කම ක්ෂණසම්පත්තිය, පැවිද්ද, ඊළඟට ධර්මශ්‍රවණය. ඔය විදියට කාරණා එකින් එක එන්න එන්නම ඉතාම දුර්ලභයි. නියම කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය හරියට ලැබුන නම් අන්න එබඳු පුද්ගලයාට නිවන ඉක්මන් වෙනවා. අර බ්‍රාහ්මණයාට වාසනාවකට වගේ ලෝකයේ ඉන්න උතුම්ම කළ්‍යාණමිත්‍රයාණන්වහන්සේ හමුවුනා. ඒක නිසා තමයි අර තරම් ඉක්මනින් ඒ තත්ත්වය ලැබුවේ. එවගේම තමයි සද්ධර්මශ්‍රවණය. නිර්වාණගාමී ධර්මය අසන්ට, ඒකට කන් යොමුකරන්නට, සිත යොමුකරන්නට ඕන. ධර්මය අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්නට ඕන. සාමාන්‍ය චාරිත්‍රයක් හැටියට නොවෙයි ධර්මශ්‍රවණය කරනවා කියල කියන්නේ. තමා තුළ ඇති නිවනට උපකාරීවන ධර්ම සමූහය එක්තැන් කරලා මාර්ගඵල අවබෝධය ඒ ධර්මශ්‍රවණ අවස්ථාවේ පවා ලබාගන්න තරම් සිත යොදල, සිත යොමු කරල, සමාධිමත්ව ඇසිය යුතු දෙයක් තමයි ධර්මය අසන එක. ඊළඟට, ඒ විදියට ධර්මය අසන අවස්ථාවේ තමයි යෝනිසෝ මනසිකාරය, නුවණින් මෙනෙහි කිරීම. දැන් අර බ්‍රාහ්මණයා නුවණින් මෙනෙහි කරලයි කෙත දිහා බලං ඉඳල එකපාරටම හිත දිහා බලන්න පටන් ගත්තෙ යෝනිසෝමනසිකාරය වශයෙන්. ඊළඟට එසේ බැලීම නිසා ඇතිවන චිත්ත විප්ලවය තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එක. ඇතැම් කෙනෙකුට එක මොහොතකදී සම්පූර්ණ වෙනවා. නමුත් බොහෝ දෙනාට ඒක පූර්වභාග වශයෙන් දීර්ඝකාලයක් තිස්සේ පුරුදු කරන්නට වෙනවා.ඒක තමයි තමන්ගේ ජීවිත රටාව හැඩගස්වා ගන්න ඕන වෙන්නේ. ඒ ජීවිත රටාව තමයි ආර්ය අෂ්ටාංශික මාර්ගය කියල කියන්නේ. සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ඒ ආර්ය අෂ්ටාංශික මාර්ගය තුළිනුයි කෙනෙකුගේ මුළුමහත් ජීවිතයම ධර්මානුකුලව හැඩ ගැහෙන්නේ. සම්මා දිට්ඨී කියන්නේ හරි දැක්ම-හරි ජීවන දර්ශනය. හොඳ නරක, කුසල් අකුසල් වටහාගෙන, දුක, දුකට හේතුව, දුකින් මිදීම කියන නිවන. ඊට මාර්ගය වන ආර්ය අෂ්ටාංශික මාර්ගය කියන ඒ වතුරාය සත්‍යය පිළිබඳව යම්කිසි මට්ටමක අවබෝධයක් ලබාගෙන, ඒ දෘෂ්ටිය, ඒ සම්‍යක් දෘෂ්ටිය පෙරටු කරගන්නවා. ‘සම්මාදිට්ඨී පුබ්බඞ්ගමා’ කියල ප්‍රකාශ කරනවා. හැම තැනම දිට්ඨීය ප්‍රමුඛ වෙනවා. පෙරටු වෙනවා. දැන් මේ පින්වතුන් උනත් පාරේ ගමන් කරන කොට ටිකක් ඈත බලන්නේ මොකද? ඈත බලල හරියට යන තැන පිළිබඳව යම්කිසි අධිෂ්ඨානයක්, සනිටුහනක්, ඇති කර ගන්නවා. ඒවගේ, සම්මා දිට්ඨියෙන් වතුරාය සත්‍යය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම්, ‘මගේ ගමන නිවන් ගමනක්, නිවන් කරා යන ගමනක්’ කියල නිවන් ඉලක්කය ඇතිකරගන්නවා. ‘බුද්ධාශාසනය’ කියන්නේ නිවන ඉලක්කය කරගත්තු ජීවන ක්‍රමයක්. ගොඩනැඟිලි නොවෙයි. එතකොට. අන්න ඒ විදියට සම්මාදිට්ඨියක්-හරි දැක්මක්-ඇති උනා නම්, ඊළඟට තියෙන්නෙ, හරි දැකුම අනුව යන හරි සිතුම් පැතුම්. ඒ ජීවනදර්ශනය අනුව හොඳ සිතුම් සංකල්පනා-හොඳ සිතිවිලි-ඇතිකරගන්නට ඕන. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ මෛත්‍රී සිතුවිලි, හිංසාවට ප්‍රතිවිරුද්ධ අවිහිංසා සිතුවිලි-ඔය සිතිවිලි නිතර වඩාගන්නට ඕන. ඒ විදියට හරි සිතුම් පැතුම් ඇති උනා නම් ඒ තැනැත්තාගෙන් පිටවන වචනත් නිවැරදි වචන, සත්‍ය වචන, අනුන් හේද නොකරවන වචන, පරුෂ වචන නොවන මුදු මොළොක් වචන, ධර්මානුකුල වචන. ඒ විදියට හොඳ වචන පාවිච්චි කරනවා. ඊළඟට ක්‍රියාමාර්ග තමයි සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරය කියන කයින් කෙරෙන වැරදිවලින් වෙන්වීම. ඊළඟට හොඳ දිවි පැවතුම තමයි අපි අර මේ අවස්ථාවේ සමාදන්වුන ආජීව අට්ඨමක ශීලයේ සඳහන්වන කාරණ. මිථ්‍යා ආජීවය කියන දෙයින් වෙන්වීමක් ගැන ප්‍රකාශ කළා. මේ කාලේ බොහෝවිට ආර්ථිකය නඟාසිටුවීම සඳහා දරණ ප්‍රයත්නයට වහල්වෙලා වැරදි ජීවිකාවලට බොහෝදෙනා යොමුවෙනවා. දුගී බව නිසා හෝ වෙන හේතු නිසා හෝ ඒවා කළා වේවා, මේ සංසාරයේ කියන නිරයාදී භයානක තැන්වලට යාමට ඒවා උපකාර වෙන නිසයි බුදුපියාණන් වහන්සේ ඒවා තහනම් කොට වදාළේ. මොනවාද ඒවා? අවි ආයුධ වෙළදාම, සතුන් මසට ඇතිකිරීම, විෂද්‍රව්‍ය වෙළදාම, මාංශ වෙළදාම. මත්පැන් වෙළදාම. මෙන්න මේවායින් ජීවිකාව ගෙනයාම තමන්ගේ පරිහානියට හේතුවන බව බුදු පියාණන් වහන්සේ වදාළා. සමහරවිට ඒවායින් ඉක්මණින් පොහොසත් වෙන්න පුළුවන්. නමුත් එහෙම පොහොසත් උනාට මොකද, ඒවායේ භයානක විපාක විඳින්නට සිදුවෙන නිසයි බුදුපියාණන් වහන්සේ ඒවා තහනම්කොට වදාළේ. අන්න ඒක නිසා මිථ්‍යා ආජීවයෙන් වෙන්වෙලා හොඳ දිවි පැවතුම් ඇති කර ගැනීම කෙනෙකුට ලොකු සහනදායී දෙයක්. පසුතැවිල්ලක් නෑ එබඳු පුද්ගලයෙකුට. ඒ සිත නිතරම පිරිසුදුයි. අන්න ඒ පිරිසුදු බව මහා ධනස්කන්ධයක් ඇති තැනැත්තෙකුටවත් නෑ. එහෙම නැත්නම් ලොකු වැටුප් ඇති කෙනෙකුටවත් ඒ සතුට නෑ. තමන්ගේ නිදොස්බව. ඒකට කියනවා අනවජ්ජසුබය කියල. නිවැරදි බව පිළිබඳ සැපය. පසුතැවිල්ලක් නැති බව ලොකු සැනසිල්ලක්. මහා ධනස්කන්ධයක් ලබාගන්න කෙනෙකුට සමහරවිට නින්ද යන්නේ නෑ. තමන්ට මතක් වෙනවා තමන් ඒ ධනස්කන්ධය ලබාගත්තෙ අයථා මාර්ගවලින් බව. ඒ නිසා අවසාන සැනසිල්ල බලාපොරොත්තුවන කෙනෙකු විසින් අවශ්‍යයෙන්ම තමන්ගේ දිවිපැවැත්ම ගැන සලකල බලන්ට ඕන. සමහරවිට පරම්පරාගත වැරදි ජීවිකාවලට සමහර අය ඇබ්බැහිවෙලා සිටිනවා. ‘මවුපියන්ගෙන් පැමිණි’ ඒ රැකිරාක්ෂාවල් අතහරින්න බෑ. ඒවා තමයි අපට පුරුදු හැටියට උරුමවෙලා තියෙන්නෙ. ඒවා අපට පුරුදු දේවල් කියල. නමුත් බුද්ධවචනය යම් කෙනෙක් හරියට තේරුම්ගත්ත නම් ඒවායින් තමන්ට වන ලාභය ගැන නොතකා ධර්මානුකුලව තමන්ගේ ජීවිකාව සකස් කරගන්නවා. සමහරවිට සුළු වැටුපක් ලබන, අඩු ආදායමක් ලැබෙන ධාර්මික රැකියාවකට යොමුවෙනවා. ඒකයි හරි දිවි පැවතුම කියන්නේ. ‘සම්මා ආජීවය’ සකස්කරගැනීම සඳහා යොදන උත්සාහය තුළින් ඒ තැනැත්තාට ‘සම්මා වායාම’ කියන ‘හරි වෙරදැරුම්’ ඇතිවෙනවා, නියම ව්‍යායාම තමයි තමාගේ සිත තුළට ගලාගෙන එන අකුසල් සිතිවිලි වැළැක්වීමත්, සිත තුළ තිබෙන අකුසල් සිතිවිලි ඉවත් කර ගැනීමත්, තමා තුළ නැති කුසල් සිතිවිලි ඇතිකර ගැනීමත්, තමා තුළ තිබෙන කුසල් සිතිවිලි තහවුරු කරගැනීමත් දරණ වීර්යය. ඒ සතරාකාර වීර්යයටයි ‘සම්මා වායාම’ කියල කියන්නේ. ඒ විදියට වීර්යය යොදන තැනැත්තා ඒ වෙනුවෙන් යොදන සතිය-සිහිය-නිසා ‘සම්මා සති’ කියන හොඳ සිහිය ඇතිව ජීවත් වෙනවා. හොඳ මුරකරුවෙක් වගේ. සිහිය හොඳට පාවිච්චි කරනවා නම් හොඳට වැටහෙනවා අර සතර සතිපට්ඨානය. තමන්ගේ කය පිළිබඳවත්, වේදනා පිළිබඳවත්, සිත පිළිබඳවත්, සිතට එන හිතිවිලි පිළිබඳවත් හොඳට වැටහෙනවා. ඒ සතර සතිපට්ඨානය ක්‍රමානුකූලව වැඩීමෙන් තමයි සම්මා සමාධි කියන උතුම් ධ්‍යාන තත්ත්ව පවා කෙනෙකුට ලබාගන්න පුළුවන් වෙන්නේ. ඒ විදියට ආර්ය අෂ්ටාංශික මාර්ගය යම් කෙනෙකු තුළ සම්පූර්ණ උනා නම් අන්න එතනමයි නිවන. ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ වීම හා සමගම සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් කියන මාර්ගඵල අවබෝධය කෙනෙකුට ලබාගන්න පුළුවන්. අන්න එතකොට මේ පින්වතුන් කල්පනා කරන්න ඕන අද වැනි දවසක අපි බුද්ධ ශාසනයක් ගැන කථාකරනවා නම්, බුද්ධ ශාසනය කියල කියන්නේ ඔන්න ඕකයි-ආර්ය අෂ්ටාංශික මාර්ගයයි, චතුරාර්ය සත්‍යයයි, එහෙම නැත්නම් ශීල, සමාධි, ප්‍රඥා වැඩීමයි. ඔය විදියේ වචනවලින් හඳුන්වනවා මිසක් බුද්ධ ශාසනය වෙන ගොඩනැඟිලි ආශ්‍රයෙන්, සංකේත ආශ්‍රයෙන් හඳුන්වන්න බෑ. ඒක නිසා ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීම බෞද්ධ වූ අපේ යුතුකමක් නම් ඒ අනුව ජීවිත රටාව, ජීවිත දෘෂ්ටිය, සකස් කර ගැනීමටත් උනන්දු විය යුතුව තිබෙනවා. මේ ධර්ම දේශනාවේදී ඉදිරිපත් කළ කථාව සාමාන්‍ය සරල කථාන්තරයක්. මේවා පැරණි පොත්වල තියෙන දේවල් කියල අහක දාන්ට නරකයි. මේ කාලේ තිබෙන ඔය නවකථා, කෙටි කථා වගේ නොවෙයි, මේවා කෙළින්ම අපේ මේ ජීවිත සරසවියේ අත්දැකීම්වලට අදාළ දේවල්. අන්න ඒක නිසා ඒ අත්දැකීම් තුළින්ම නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න මේ පින්වතුන් උත්සාහ වෙන්න ඕන. විශේෂයෙන්ම, ධර්මශ්‍රවණය කරන අවස්ථාව-බුදුපියාණන්වහන්සේ වදාළ-විමුක්ති ආයතනයක් හැටියට විමුක්තිය ලබාගන්න තැනක්. නොයෙකුත් විදියේ විමුක්ති තියෙනවා. නමුත් සංසාර විමුක්තිය ලබාගන්න තැන් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරල තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව එබඳු අවස්ථාවක්. ධර්ම දේශනා අවස්ථාවත් එබඳු අවස්ථාවක්. එතකොට මේ පින්වතුන් හොඳට ධර්මශ්‍රවණය කළා නම්, ඒ විමුක්තියට උපකාරවන-ජීවිතයට උපකාරවන-කුසල් සිතිවිලි රාශියක් මේ අවස්ථාවේ විත්ත සන්තානයේ ඇතිවෙන්න ඇකි. ඒ කුසල් වේදනා රාශිය උපනිශ්‍රය කරගෙන මේ පින්වතුන්ට මේ අතිභයානක ගෝරතර සංසාරයෙන් අත්මිදිල ජාති ජරා ව්‍යාධි මරණාදී සියලු සංසාර දුකින් නිදහස් අප්‍රමාණ සංඛ්‍යාත උතුම් අමාමහ නිවන් සුව ප්‍රත්‍යක්ෂ කරගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරගන්න ඕන. ඒ වගේම ශාසනාරක්ෂක දිව්‍යබ්‍රහ්ම මණ්ඩලයත්, මේ ස්ථානයට අධිගෘහිත දේවිදේවතාදී යම් පිරිසක් ඇත්නම් ඒ හැමදෙනාත්, නිවන් කැමති, පින් කැමති සියලු දෙනාත් මේ ධර්ම දේශනාමය, ධර්මශ්‍රවණමය කුසලය අනුමෝදන් වෙත්වා! කියා ප්‍රාර්ථනා කරන්න ඕන. ඒ වගේම තම තමන්ගේ ඥාතිමිත්‍රාදීන් ඇතුළු, අවිචියේ පටන් අකනිටා බඹලොව දක්වා යම්තාක් පින් කැමති, නිවන් කැමති, සත්ත්වයෝ වෙත් නම්, ඒ හැම දෙනෙක්මත් මේ ධම්දේශනාමය, ධර්මශ්‍රවණමය කුසලය අනුමෝදන් වී සියලු සංසාර දුකින් අත්මිදී අමාමහ නිවන් සුවයෙන් සැනසෙත්වා! කියන ප්‍රාර්ථනාව ඇතිකරගෙන දැන් මේ විදියට ගාථා කියල පින් පමුණුවන්න. ‘එත්තාවතා ච අම්හේහි…’